දැක්ම

රත්තොට පුරවරයට තිරසාර සංවර්ධනයක්

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගිත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර සැළසුම් සහගත

සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ  ජන දිවිය නංවාලීම

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරපේක්ෂ පිහිටීම උතුරු අක්ෂාංශ 7.25 ත් 7.33 හා නැගෙනහිර දේශාංශ 80.36 ත් 80.45 ත් අතර වේ. මුහුදු මට්ටමේ සිට අඩි  1000-5000 අතර උන්නතාංශයකින් යුක්ක වේ. කොට්ඨාශය මුළුමනින්ම පාහේ කඳු, හෙල් ගිරි දුර්ගවලින් සමන්විත වන අතර දකුණූ හා නැගෙනහිර මායිම පුරා හුන්නස්ගිරි කඳු පන්තිය හා ලෝක උරුමයක් ලෙස හඳුන්වා දී ඇති නකල්ස් අදි සංරක්ෂණ කලාපය ව්‍යාප්ත වී ඇත.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පරිනාමය ගැන භූ විද්‍යාඥයින් දක්වා ඇති අදහස් අනුව මාතලේ දිස්ත්‍රික්කය පුරාම පැතිරී ඇති කඳු පන්තිය නිර්මාණය වීමට පෘථිවි කබලේ ඇති වූ ආනතීන්, සම්පිණ්ඩන බල, උඩු නැමි හා යටි නැමි හේතු වන්නට ඇති බව සඳහන් වේ. ප්‍රදේශයේ ඇති යටි නැම්මක් සඳහා ‍හොඳ ම උදාහරණයක් ලෙස නකල්ස් කඳු පන්තිය හඳුන්වා දිය හැක.රත්තොට උතුර හා නැගෙනහිර ප්‍රදේශයන්වල අධීක බෑවුම නිසා පාංශු ඛාදන ක්‍රියාවලිය තීව්‍ර වී ඇත.ඇතැම් ප්‍රාදේශවල දී  පාෂාණ තට්ටුව පොළොව මතුපිටට නිරාවරණය වී ඇති දළ බෑවුම් ප්‍රදේශය නාය යාමේ තර්ජනයට ලක් වී ඇත.

ප්‍රදේශයට අධීක වර්ෂාපතනයක් ලැබෙන අතර වර්ෂය පුරා ම ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1000- 2500 ත් අතර මට්ටමක පවතී. එමෙන් ම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-30 අතර වන අතර ඉතා සෞම්‍ය දේශගුණයකින් සමන්විත වේ.ප්‍රාද්ශයේ ගම්මිරිස්, තේ, කෝපි වැනි ආර්ථික බෝගවලටත් සුදුසු දේශගුණීක රටාවක් හා පසක් ඇත.

ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පාරිසරික කලාප තුනකි.

1. උඩරට අන්තර් මධ්‍යම කලාපය

2. මැදර‍ට තෙත් කලාපය

3. මැදරට අන්තර් මධයම කලාපය

මෙම තත්වයන් හේතුවෙන් වර්ෂය පුරා ම ජලයෙන් පෝෂිත ඇළ දොළ ගංගා රාශියක් ප්‍රදේශයේ දක්නට ලැබේ.නකල්ස් හා හුන්නස්ගිරිය කඳු ප්‍රදේශයෙන් ආරම්භ වී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා ගොස් සුදු ගඟ හා සම්බන්ධ වේ. දැළිවල ඔය, දන්කන්ද ඔය, මොරගුළු ඔය, නිකලොය,මෙන් ම කුඩා ජල මුලාශ්‍ර රාශියක් දක්නට ලැබේ.

නකල්ස් අධිආරක්ෂිත ප්‍රදේශයේ දී සදාහරිත වනාන්තර හා පතන බිම් හඳුනාගත හැකි අතර ප්‍රදේශයේ දේශීය නොවන වන වගාවන් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාප්ත කර ඇත. මැදවත්ත, දන්කන්ද පොල්වත්තාකන්ද, වෙරළුගස්තැන්න නිකලොය,කබරගල වැනි ප්‍රදේශවල හෙක්ටයාර් 380 ක් පමණ පයිනස්, යුකැලිප්ටස්, ටර්පන්ටයින් වැනි වගාවන් දක්නට ලැබේ.

ප්‍රදේශයේ පාංශු ව්‍යාප්තිය දෙස  අවධානය යොමු කිරීමේ දී මාත‍ලේ දිස්ත්‍රික්කය තුළ බහුලව දක්නට ඇති රතු දුඹුරු පස රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළද ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.එමෙන්ම ප්‍රදේශයට විශේෂීත වූ පාංශු වර්ග කිහිපයක්ම ප්‍රදේශයේ දේශගුණික කලාප අනුව හඳුනාගත හැක.

  1. මැදරට තෙත් කලාපය - රතු දුඹුරු ලැටසෝල්ට් පස / ලා දුඹුරු ලැටසොලික් පස
  1. උඩරට අන්තර් මධ්‍යම කලාපය - රතු දුඹුරු ලැටසෝල්ට් පස / කඳුරට තද පස
  1. මැදරට අන්තර් මධ්‍යම කලාපය - රතු දුඹුරු ලැටසෝල්ට් පස/ලා දුඹුරු ලොම් පස

දේශගුණය

            රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෘෂි දේශගුණික කලාප 03  කට අයත් වේ.උඩරට අන්තර් මධ්‍යම කලාපය,(IM 3a) මැදරට තෙත් කලාපය, ( WM3b) හා මැදරට අන්තර් මධ්‍යම කලාපය (IU1) එම කලාප තුනයි. වසර පුරා ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1000-2500 පමණ වේ. වැඩි ම වර්ෂාපතනයක් දෙසැම්බර්, ජනවාරි මාස වලදී  ලැබෙන අතර, එය මිලි මිටර් 2500 පමණ වේ. අඩුම වර්ෂාපතනයක් ජූලි, අගෝස්තු  මාසයේ දී ලැබේ. වර්ෂාපතනය ප්‍රධාන වශයෙන් ඊසාන  දිග මෝසම් සුළං කාලවලින් ලැබේ. ඊට අමතරව නිරිත දිග මෝසම් සුළං මගින් ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24--30 පමණ වන අතර, වැඩි ම උණුසුම අගෝස්තු මාසයේ දී පවතින අතර, සිසිල්ම මාසය ජනවාරි වේ.

ප්‍රාදේශීය පාලනය

ශ්‍රී ලංකාව 1815 දි යටත් විජිතයක් බවට පත්වන විට රත්තොට ප්‍රදේශය අයත් වූයේ කන්ද උඩරට රාජධානියටය. අනතුරුව 1819 සිට මහනුවර දිසාපතිවරයාගේ පාලනය  යටතේ මාතලේ උප දිසාපති කොට්ඨාසයට රත්තොට අයත් විය.1955 දී මාතලේ වෙන ම දිස්ත්‍රික්කයක් බවට පත් වූ අතර රත්තොට එක් කොටසක් වශයෙන් මාතලේ දිසාපතිවරයාගේ පාලනයට නතුව පැවතුනි.1948 දි නිදහසින් පසු පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික්කය වෙනම ආදායම් පරිපාලන කොට්ඨාස තුනකට වෙන් වූ අතර රත්තොට අයත් වූයේ එහි දකුණු කොටසටය.1963 න් පසු මෙහි කොට්ඨාස ගණන 10 දක්වා ඉහළ ගිය අතර රත්තොට සඳහා වෙන ම කොට්ඨාසයක් වෙන් විය.1972 න් පසු මෙම කොට්ඨාස නාමය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසය වශයෙන් වෙනස් විය.

1963 සිට එතෙක් පැවති ගම්මුලාදෑනි ක්‍රමය වෙනස් කර ග්‍රාම නිලධාරී සේවය හඳුන්වා දුන් අතර 1989 සිට ග්‍රාම නිලධාරී කොට්ඨාස 54 කින් යුක්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පරිවර්තනය විය.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුළුමනින් ම රත්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන අතර ප්‍රදේශයේ පොදු මහජන අවශ්‍යතා ඉටු කිරිමට අමතරව සංවර්ධන කටයුතුවලින් බොහොමයක්ම මෙහෙයවනු ලබන්නේ මෙම ආයතනය මගිනි. පැරණි ගම්සභා ක්‍රමය වෙනුවට  80 දශකයේ දී හඳුන්වා දුන් මෙම ප්‍රාදේශීය සභාව වර්තමානයේ දී ප්‍රදේශවාසීන්ගේ ඡන්ද බලයෙන් තේරී පත්වන 12 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම ප්‍රාදේශීය සභා ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථමයෙන් 70 – 80 දශකවල රත්තොට නගරය ආශ්‍රිතව සුළු නගර සභාවක් පැවතියේය.

රත්තොට ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 54 කින් සමන්විත වන අතර 60464 ක ජනගහනයකින් සමන්විත වේ. මෙම කොට්ඨාශය මාතලේ නගරයට ඉතා ආසන්නව පිහිටීමත් පදිංචිය සඳහා වඩාත් යෝග්‍ය සෞම්‍ය දේශගුණයකින් යුක්ත වීම නිසා පසුගිය දශක දෙකක කාලය තුළ මෙම කොට්ඨාසය සීඝ්‍රයෙන් ජනාකිර්ණ විය.

මාතලේ දිස්ත්‍රික්කයේ සුළු අපනයන බෝග අතුරින් කුරුඳු, ගම්මිරිස්,කෝපි, ආදියෙන් වැඩි ම නිෂ්පාදනයක් හා  ඵලදායිතාවයක් ලැබෙන්නේ රත්තොට ප්‍රදේශයෙන්ය. තවද මෙම කොට්ඨාසයේ නැගෙනහිර හා දකුණු මායිම් ආශ්‍රිතව එනසල් වගාව සරුවට සිදු වේ. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එනසල් අස්වැන්න සඳහා ඉහළ මිලක් ලැබීම මෙම වගාව ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වී ඇත.මෙවැනි උසස් තත්වයේ ආර්ථික බෝග ව්‍යාප්තව පැවතීම නිසා එමගින් ප්‍රදේශවාසීහු ඉහළ ආදායමක් ලබති.

කොට්ඨාසයේ වාණිජ නගරය රත්තොට වන නමුත් ප්‍රදේශවාසීහු තම වාණිජමය අවශ්‍යතා සපුරා ගන්නේ මාතලේ නගරයෙනි.මාතලේ ලග්ගල හා විල්ගමුව ප්‍රදේශ යා කෙරෙන දුෂ්කර වූ නමුත් චමත්කාර ප්‍රදේශයක් වන ඉලුක්කුඹුර මාර්ගය වැටී ඇත්තේ රත්තොට ප්‍රදේශය හරහාය.

රත්තොට ප්‍රදේශයේ බහුතරය සිංහල බෞද්ධ ජනතාවක් වන අතර බොහෝ දෙනා මාතලේ නගරය කේන්ද්‍ර කොටගත් පුද්ගලික ව්‍යාපාර ආයතනවල හා රාජ්‍ය අංශයේ සේවයේ යෙදෙන්නෝ වෙති.වතු ආශ්‍රිතව ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව වැඩිපුර ව්‍යාප්තව සිටිති.මේ නිසා හින්දු දේවාල හා කෝවිල් මේ වතු ආශ්‍රිතව වැඩිපුර ව්‍යාප්තව ඇත. ශ්‍රී ලංකාව මුළුමනින් ම පාහේ ආවරණය වන පරිදි රිවස්ටන් කඳු මුදුනේ විදුලි සංදේශ කුළුණක් පිහිටුවා ඇත. එසේ ම මෙම කඳු පන්තිය ආශ්‍රිතව රූපවාහිනී කුළුණු පිහිටුවා ඇත.කොට්ඨාශයේ නැගෙනහිර හා දකුණු සීමාවේ ඇති ස්වභාව සෞන්දර්ය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය ට ද මහත් රුකුලක් වී ඇත.

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top